,

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් බස්නාහිර පළාතේ රු.50,000ක දඩයක්

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් බස්නාහිර පළාතේ රු.50,000ක දඩයක්

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාමේ වරදට අධිකරණය හමුවේ නඩු පවරා රුපියල් 50,000ක උපරිම දඩ මුදලක් නියම කළ හැක්කේ බස්නාහිර පළාත තුළ පමණක් බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කර තිබේ.

ඇය සඳහන් කළේ බස්නාහිර පළාතට අදාළ නීතිමය ප්‍රතිපාදන අනුව මෙම උපරිම දඩ මුදල නියම කළ හැකි අතර, සෙසු පළාත් අට සඳහා 2007 අංක 11 දරන මදුරු මර්දන පනත යටතේ රුපියල් 1,000 සිට රුපියල් 25,000 දක්වා දඩ මුදල් පැනවීමේ හැකියාව පවතින බවයි.

එමෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාමේ වරද සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට මාස හයක් දක්වා සිරදඬුවමක් නියම කිරීමේ බලය ද පවතින නමුත් මේ දක්වා එවැනි සිරදඬුවමක් කිසිවෙකුට නියම කර නොමැති බවද ඇය සඳහන් කළාය.

ඩෙංගු මර්දනය සඳහා පවතින නීති තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවද, දැනට ක්‍රියාත්මක වන්නේ පවතින නීතිමය ප්‍රතිපාදන බවද ඇය පැවසුවාය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආරක්ෂක අංශවලට නිවාස හා අනෙකුත් පරිශ්‍ර පරීක්ෂා කිරීමේ බලතල පවතින අතර, පසුගිය 08, 09 සහ 10 යන දින තුන තුළ දිස්ත්‍රික්ක 14ක සිදු කළ ඩෙංගු මර්දන මෙහෙයුම්වලදී පරිශ්‍ර 2,000කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවද අනාවරණය විය.

ඩෙංගු රෝගය මාරාන්තික වසංගත තත්ත්වයක් බව පෙන්වා දුන් ප්‍රශිලා සමරවීර මහත්මිය, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව තම වගකීම නිසි ලෙස ඉටු කරමින් පරිසරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media