ගම්පහ කච්චේරි සංකීර්ණයේ පිහිටි වසර 100කට ආසන්න ඉතිහාසයක් හිමි “අග්‍රා” වලව්වේ උඩු මහලේ අලුතින් ස්ථාපිත කරන ලද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුහුණු මධ්‍යස්ථානය අද (18) දින විවෘත කෙරිණි.
2023 වසරේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නව “ලක් සියනෑ මන්දිර” ගොඩනැගිල්ල වෙත ගෙන යාමෙන් අනතුරුව භාවිතයෙන් ඉවත් කර තිබූ මෙම පෞරාණික වලව්ව, එහි ඓතිහාසික හා වාස්තු විද්‍යාත්මක වටිනාකම් ආරක්ෂා කරමින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ලලින්ද ගමගේ මහතාගේ මගපෙන්වීම යටතේ සිදුකළ මෙම සංවර්ධන වැඩසටහන යටතේ, වලව්වේ ඉහළ මහල පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත්, පහළ මහල ගම්පහ දිස්ත්‍රික්කයේ ඉතිහාසය හා අග්‍රා වලව්වේ පුරාවෘත්ත ඇතුළත් කෞතුකාගාරයක් ලෙසත් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
අද විවෘත කෙරුණු පුහුණු මධ්‍යස්ථානය පරිගණක 25කින් සමන්විත නවීන පරිගණක විද්‍යාගාරයක් සහ දේශන ශාලා දෙකකින් සමන්විත වේ.
1925 සිට 1930 අතර කාලයේදී ඉදිකර ඇති මෙම පෞරාණික ගොඩනැගිල්ලේ ලී කැටයම්, පියගැට පෙළ සහ සිවිලිම් ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයේ ආභාෂය ලබා නිර්මාණය කර ඇති අතර, එය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඩී. කරුණාරත්න මහතාට අයත් වූ බව සඳහන් වේ.
1978 වසරේ ගම්පහ දිස්ත්‍රික්කය ස්ථාපිත කිරීමෙන් පසුව මෙම ගොඩනැගිල්ල ගම්පහ කච්චේරිය ලෙස භාවිතයට ගෙන තිබේ.
විශේෂත්වයක් ලෙස, ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය වන “පරසතු මල්” චිත්‍රපටයේ රූගත කිරීම් ද මෙම අග්‍රා වලව්වේදී සිදුකර තිබේ.
නව පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රථම වැඩසටහන ලෙස තොරතුරු තාක්ෂණ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 20 දෙනෙකු සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ විශේෂ පුහුණු පාඨමාලාවක් ද ආරම්භ කර ඇත.
ඉදිරියේදී රාජ්‍ය හා පෞද්ගලික ආයතන, බැංකු සහ විවිධ සංවිධාන සඳහා මෙම පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් ලබාදීමටත්, පෞරාණික අග්‍රා වලව්ව චිත්‍රපට හා ටෙලිනාට්‍ය රූගත කිරීම් සඳහා ද භාවිතයට ලබාදීමටත් සැලසුම් කර ඇති බව දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා සඳහන් කළේය.











Leave a Reply