,

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමට නිලධාරීන්ගේ ප්‍රමාදයත් හේතුවක් – සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමට නිලධාරීන්ගේ ප්‍රමාදයත් හේතුවක් – සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය

ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් සහ පුරෝකථන ඉදිරිපත් කර තිබියදීත්, ඇතැම් බලධාරීන් සහ නිලධාරීන් නිසි වේලාවට ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ ජනවාරි මාසයේ සිට ක්‍රමයෙන් ඉහළ ගිය ඩෙංගු මදුරු කීට ඝනත්වය පෙන්වන බ්‍රෙටෝ (Breteau) දර්ශකය අප්‍රේල් මාසය වන විට බොහෝ ප්‍රදේශවල සියයට 25 ඉක්මවා තිබූ බවයි.

ඒ පිළිබඳව අප්‍රේල් මාසයේදීම ඩෙංගු මර්දන ව්‍යාපාරය හරහා අදාළ බලධාරීන් දැනුවත් කළද, ඇතැම් ප්‍රදේශවල නිලධාරීන්ගේ තීරණ ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම දුෂ්කර වූ බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම 2017 වසරේදී ව්‍යාප්ත වූ ඩෙංගු වෛරස් කාණ්ඩයම 2026 වසරේදී නැවත ව්‍යාප්ත වීමත්, ජනතාව තුළ ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් නොමැති වීමත් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට බලපා ඇති බවද නජිත් සුමනසේන මහතා සඳහන් කළේය.

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ 2026 වසරේ මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 45,037 දෙනෙකු සහ මරණ 28ක් වාර්තා වී ඇති බවයි.

විශේෂයෙන් කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තවදුරටත් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවද ඇය පෙන්වා දුන්නාය.

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ඇය, මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම සඳහා සෑම පුද්ගලයෙකුම තම වගකීම ඉටු කළ යුතු බවද ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media