නිට්ටඹුව ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටලයක පැවති විවාහ මංගල්‍යයකදී දිවා ආහාරය සඳහා පිළිගන්වනු ලැබූ මාළු ව්‍යංජනයක පණුවකු හමුවීමේ සිද්ධියට අදාළව එම හෝටලයේ අයිතිකරු සහ කළමනාකරු අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
අත්තනගල්ල මහේස්ත්‍රාත් කේ.ආර්.වී.ටී. වැන්දබෝනා මහත්මිය නියෝග කර ඇත්තේ විත්තිකරුවන් දෙදෙනාගේ පෙර වැරදි වාර්තා කැඳවා සලකා බැලීමෙන් අනතුරුව දඬුවම් නියම කරන බවයි.
මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ පසුගියදා අදාළ හෝටලයේ පැවති විවාහ මංගල්‍යයකදීය. එහිදී පිළිගන්වන ලද කටු මාළු ව්‍යංජනයක පණුවකු සිටින බව නිරීක්ෂණය කර ඇත්තේ උත්සවයට සහභාගී වූ රජයේ ප්‍රධාන රෝහලක වෛද්‍යවරයෙකු විසිනි.
ඔහු විසින් කොළඹ ආහාර පාලන ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් වහාම හෝටලය වෙත ගොස් අදාළ ආහාර සාම්පල භාරයට ගෙන විමර්ශන ආරම්භ කර තිබේ.
අධිකරණයේදී සැකකරුවන් දෙදෙනාම තමන්ට එල්ල වූ චෝදනා පිළිගත් අතර, ඔවුන්ට එරෙහිව මීට පෙරද නඩු දෙකක් පවරා තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව, පෙර වැරදි වාර්තා සලකා බලා දඬුවම් නියම කිරීම සඳහා නඩුව ලබන අගෝස්තු 07 වැනිදා දක්වා කල් තබා තිබේ.











Leave a Reply