විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන “පොඩි සුරේෂ්” සහ “සංඛ සමීර” යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී ඊයේ (19) රාගම ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගනේමුල්ල, කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.
වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 288ක ප්‍රමාණයක්, විද්‍යුත් තරාදියක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් තොගයක්ද සොයාගෙන ඇත.
එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවට සැක කෙරෙන ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.











Leave a Reply